3) වාණිජ පරමාර්ථ මුල් කරගෙන නිර්මාණය වූ කාම රැල්ලේ චිත්‍රපට (1995 පසු)
60 70 80 දශකයන්හි සිංහල චිත්‍රපට ආඛ්‍යානය වූ ආදරය, ලිංගික, ද්‍රෝහිත්වය 90 දශකය වන විට සෘජුවම නිළියක හා නිදි වැදීම, ඇගේ අඟ පසඟ කෙරේ ප්‍රේක්ෂක ආශාව මොළවා ගැනීම බවට පත්ව ඇත්තේ නිළියකට නොනැසී ජීවත්වීමේ එකම මාර්ගය අධ්යක්ෂවරයාට අවශ්‍ය පරිදි තම ශරීරය යොදවමිනි. 90 දශකය වන විට ලාංකික සමාජය ප්‍රබල හර පෙරළියකට ගොදුරුව ඇත. මෙතෙක් කාලයක් පාරිභෝගික භාණ්ඩයක් බවට පත්ව නොතිබුනු මිනිසාගේ ලිංගිකත්වය හුදෙක් දරුවන් ලබා ගැනීමට සීමා නොවී මුදලට විකිනෙන මට්ටමට පත්විය. පරිභෝජනය මූලික සමාජයක් බිහිවෙමින් සමාජ පුරුෂාර්ථ සාරධර්ම දියවී වාෂ්ප වී ගොස් සියල්ල මුදලට තීරණය වන සමාජයේ ස්ත්‍රියට වෙළදපොලක් නිර්මාණය විය. 90 දශකයේ බිහි වූ අතලොස්සක් නිර්මාණය හැරුනු කොට බොහෝ නිර්මාණ උක්ත දැක්වූ පරිදි වෙළඳපොළ ඉලක්ක කොටගත් වාණිජ නිර්මාණ විය. ස්ත්‍රීය, ස්ත්‍රි ලිංගිකත්වය සිනමාරූපි බවකින් තොරව චිත්‍රපටයේ හරය උචිත නොවන ලෙස භාවිතා කරමින් කාම චිත්‍රපට රැල්ලක් නිර්මාණය විය.
1990 පසු බොහෝ සිනමාකරුවන් ලිංගිකත්වය ජීව විද්‍යාත්මක පැකිකඩ අමතක කර එහි සෞන්දර්යාත්මක පැතිකඩ වාණිජ්යත්වයෙන් ඉදිරිපත් කරන අයුරු 90 දශකයේ චිත්‍රපට මඟින් පෙනීයන්නකි. සිනමාවේ මෙකී ලක්ෂණය නිරූපණය පළමුවෙන් ම ඉස්මතු වන්නේ කාන්තා විමුක්තියේ දෝංකාරය යන පැළැස්තරය ද සමඟ පැමිණි ලුවී වැන්ඩස්ට්‍රාටන්ගේ “ඇගේ වෛරය 1” (1995) චිත්‍රපටයෙනි. අධ්යක්ෂවරයාගේ සුඛ්යාධ්යාශය වි ඇත්තේ රූපරාමු ඔස්සේ ලිංගිකත්වය හුවා දැක්වීමයි. අඩ නිරුවත්, නිරුවත්, දූෂණය කිරීම් ආදි දර්ශන යොදා ගනිමින් ස්ත්‍රී ලිංගිකත්වය විකුණාගෙන චිත්‍රපටය ජනප්‍රිය කරගැනීමේ අභිලාෂයෙන් මේවා නිර්මාණය කර තිබේ.
1996 තිරගත වූ “අපි බය නෑ” චිත්‍රපටය ද උක්ත ප්‍රස්තුතයට අදාළවේ. ඇගේ වෛරය තුළ මෙන් නිරුවත් දර්ශන එකකදු හෝ යොදා නොගත්ත ද සිංහල සිනමා කෘතීන්හි ලිංගිකත්වය නිරූපනයට අන්තර්ගතය ආයුධයක් ලෙස භාවිතා කර ඇත. මෙහි ස්ත්‍රි අඩනිරරුවත දැක්වීමෙන් මෙය පසක් වේ. මේ ආකාරයට වට්ටෝරු ගත සිනමාපට බිහි වීමේ ඊලග පියවර ලෙස “ඇගේ වෛරය 2”(1998) නිර්මාණය වන්නේ අධ්යක්ෂවරයාගේ ස්වකීය ප්‍රකාශන ලිංගිකත්වය හුවා දැක්වීමේ ආධ්‍යාශයෙනි. 1997 වසරේ තිරගක වූ රාගයේ උණුසුම එම වසරේ වැඩිම ආදයම් ඉපයූ චිත්‍රපටය වීම තුළින් පෙනෙන එකම කරුණ නම් මෙම චිත්‍රපට සඳහා ප්‍රේක්ෂක ඉල්ලුම සහ ප්‍රතිචාරයි. ලිංගිකත්වය තවදුරටත් ග්‍රාම්‍ය අයුරින් අලෙවි කරනු වස් ලුවී වැන්ඩස්ට්‍රාටන් ඇගේ වෛරය 2 සහ වියරු ගැහැණියක් නිර්මාණය කළේය.
“අක්කයි නංගියි” (1998) චිත්‍රපටය ද නඩු විභාගයක් කේන්ද්‍රීය පුවත වශයෙන් යොදාගෙන අතීත ස්මරණය තුළින් ප්‍රධාන නිළියගේ නිරුවත පෙන්වා ලිංගිකත්වය හුවා දැක්වීමේ අරමුණින් නිර්මාණය වූවකි. මෙහි නඩු විභාගය යොදාගෙන ඇත්තේ නාට්‍යමය ගුණයෙන් බහුල ප්‍රේක්ෂක අවධානය දිනාගැනීමේ අරමුණින් නොවේ. චිත්‍රපටයේ අනෙක් කටයුතු පහසු කරගනු පිණිස නඩු විභාගය යොදාගැනීමේන් පෙනී යන්නේ අනෙක් සිනමාකරුවන්ට මෙන් මෙහි අධ්යක්ෂවරයාටද අවශ්‍ය වූයේ ලිංගිකත්වය පෙන්වා ප්‍රේක්ෂකයා සිනමාශාලාවලට ගෙන්වා ගැනීම බවයි. “මොහොතින් මොහොත” (1998), “උණුසුම් රාත්‍රිය” , “ගර්ල් ෆ්‍රෙන්ඞ්” (1998), “වියරු ගැහැණියක්” (1997), “තිසරාවී” “සෙක්සි ගර්ල්” (1998) “රාගිනි” (1998) “සළුපට අහසට”, “රාගයේ උණුසුම” වැනි චිත්‍රපට ද මෙම කාලවකවානුව තුළ බිහි වූ ලිංගිකත්වය හුවා දැක්වීම මුඛ්‍ය පරමාර්ථය කොටගත් වට්ටෝරුගත වැඩිහිටියන්ට පමණයි ලේබලය ඇලවූ චිත්‍රපට කිහිපයකි.
මේවායේ විවිධාකාරයෙන් එකම තේමාව ගෙනහැර දැක්වීම හේතුවෙන් සිනමාව තුළින් හරිහැටි පනිවුඩයක් ගෙන ඒමට නොහැකිව තිබේ. ලිංගිකත්වය දැනවීමේදී උසස් සිනමා කෘතියක් යොදාගන්නා සංකේතයන් 1995 සට 2000 දක්වා නිර්මාණය වූ බොහොමයක් සිනමා කෘති තුළ නොවීය. දූෂණයක්, ලිංගික අතවරයක්, ලිංගික අපහරණයක්, පලිගැනීමක් හෝ අසීමිත ලිංගික ආශාවන් ඇති අයෙකුගේ කතාවක් මෙම චිත්‍රපට සඳහා ප්රස්තුතය කරගෙන ඇති නමුත් ලිංගිකත්වය යනු කුමක්දැයි සමාජ විද්‍යාත්මක හෝ මනෝ විද්‍යාත්මක විෂයානුබද්ධ දැනුමකින් යුතුව සිනමාවට නගා ඇති බවක් නොපෙනේ. මේ කාලය තුළ නිර්මාණය වූ චිත්‍රපටවල විශිෂ්ට සංගීතකරණයක් විශිෂ්ට ආලෝකකරණයක් විශිෂ්ට කැමරාකරණයක් කිසිඳු අවස්ථාවක දක්නට නොවීය. වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට ස්ත්‍රී නිරුවත උපයෝගි කර ගනිමින් ප්‍රේක්ෂකයා කිසියම් කාම ගින්නකට හසු කර ගැනීමට සමත් වෙයි. මෙම චිත්‍රපටවල එන දෙබස් ඛාණ්ඩ දෙස බලන විට මේ බව තව දුරටත් පසක් වේ. ඒවා සෞන්දර්යාත්මක බවක් කලාත්මක බවක් නොමැති හුදු බොළඳ ශෘංගාරාත්මක වදන් පමණි. මෙම දෙබස් වලින් ධ්වනිත වන අනෙක් කරුණ නම් ලිංගිකත්වය ස්ත්‍රිය හරහාම ධ්වනිත කරවන්නට තරම් සිනමාකරුවන් ලිංගිකත්වයත් ස්ත්‍රියත් උභයපාර්ශවික ලෙස එකිනෙකට ඈදාගෙන ඇති බවකි.
ඇගේ වෛරය 1 - “මම මේ කල්පනා කරන්නේ මෙතෙන්ට ආපු කෙල්ල ගැන.. ම්... ම්... නියමයි නියම කෑල්ල”
“පිරිසිදු චරිතය අපිරිසිදු කරන එක විතරයි”
රාගයේ උණුසුම - “කෙල්ලෙක් සැප ගන්න”
“තාම නොයිඳුල්”
“කෙල්ලගේ ලස්සන තරමට වැඩත් ලස්සන ඇති නේද”
අක්කයි නංගියි - “මේ මගේ මෝනිං කිස් එක”
“සර් නැතිනම් මට පිස්සු හැදිලා”
රමණීය රූප පෙළකින් හෝ රමණීය දෙබස් පෙළකින් පොදු මහත් රසිකයන්ගේ අවධානය යොමු කරගත් නොගත් මොවුන් රමණීය සංසිද්ධීන්ට වඩා රමණය මුල් කරගත් සංසිද්ධීන් කෙරෙහි පමණක් අවදානය යොමු කර තිබීම මෙවන් නිර්මාණ බිහි වීමට හේතුවක් වන්නට ඇත.
1996 වසරේ තිරගත වූ විශ්වනාත් බුද්ධික කීර්තිසේනයන් විසින් අධ්‍යක්ෂණය කළ “සිහින දේශයෙන්” තරමක් දුරට අගය තළ හැකි වට්ටෝරුගත සිනමාවෙන් මදක් ඔබ්බට ගිය නිර්මාණයකි. නමුත් සමස්තය ගත් කළ මෙම යුගයේ තැනූ චිත්‍රපටයන්හි සිනමාරූපි බවක් හෝ කලාත්මක වටිනාකමක් ඇති නිර්මාණ ලෙස අගය කළ හැකි නොවේ.
👍👍
ReplyDelete👍
ReplyDeletegood work 👍👍👍
Delete