Tuesday, 27 April 2021

විශේෂ දෘශ්‍ය ප්‍රයෝග අංග රචනය හෙවත් ප්‍රොස්තටික් කලාව (Prosthetic) -හැඳින්වීම-

 

විශේෂ දෘශ්‍ය ප්‍රයෝග අංග රචනය  පිළිබඳ කතාකිරීමට  පෙර වේශ නිරූපණය යනු කුමක්ද යන්න හදුනා ගැනීම වැදගත්ය. වේශ නිරූපණ ශිල්පියාට ලැබෙන ඉහළම සම්මානය නම් සම්මානයක් නොලැබීමයි. වේශ නිරූපණයේ හෙවත් අංග රචනයේ  විශිෂ්ටත්වය රදා පවතින්නේ වේශ නිරූපණ ශිල්පියාගේ දක්ෂතාව මතය. වේශ නිරූපණය හෙවත් අංග රචනය යනු වේදිකා යථාර්ථයත් ස්වභාවික යථාර්ථයත් හදුනාගෙන තෝරාගත් මාධ්‍යට අනුව නළුවාගේ හෝ නිළියගේ රංගන කාර්යයට බාධාවක් නොවන ලෙසින් ඔවුනගේ චර්මය මත චිත්‍රනය හෝ ගොඩනැගීම හෝ මේ දෙකම නිපුණත්වයකින් දැක්විය යුතු අභියෝගාත්මක විෂයක් යන්න ලෙස අර්ථ දැක්විය හැක. වේශ නිරූපණය, 

සරල       

චරිතාංග   

ශෛලිගත 

විකාර රූපි 

ලෙස කොටස් සතරකට බෙදා දැක්විය හැක. සාමාන්‍ය ගමනකදී උත්සවයකදී අප භාවිතා කරන්නේ සරළ අංග රචනයකි. චරිතයේ බාහිර ස්වරූපයේ කිසිදු වෙනසක් සිදු නොකරයි. චරිතාංග  අංග රචනයේදී අදාළ චරිතයේ බාහිර ස්වරූපය වෙනස් කිරීමක් කරන අතර වේදිකා නාට්‍ය, සිනමාව, ටෙලි නාට්‍ය හා දැන්වීම් සඳහා  චරිතාංග  අංග රචනය සිදුකරයි. ශෛලිගත අංග රචනය සාමාන්‍ය ස්වරූපය ඉක්මවා ගිය අංග රචන ක්‍රමවේදයකි. මනමේ, සිංහබාහු වැනි වේදිකා නාට්‍ය තුළ දක්නට ඇත්තේ ශෛලිගත අංග රචනයයි. පිටසක්වල ජීවීන් යක්ෂ රූප වැනි අත්භූත චරිත නිර්මාණය කිරීම විකාර රූපි අංග රචනයයි. සිනමාව තුළ චරිත ඉදිරිපත් කිරීමට භාවිතා වන්නේ චරිතාංග අංග රචනය සහ විකාර රූපි අංග රචනයයි. 

වේශ නිරූපණයේම තවත් කොටසකි විශේෂ දෘශ්‍ය ප්‍රයෝග අංග රචනය  වේශ නිරූපණය මගින් කල නොහැකි දේ විශේෂ දෘශ්‍ය ප්‍රයෝග අංග රචනය මගින් සිදුකරයි. නිදසුනක් ලෙස සිනමාපටයක හෝ ටෙලි නාට්‍යයක යකෙකුගේ රුවක් හෝ පිටසක්වල රුවක් නිර්මාණය කිරීම, තුවාල, පිළිස්සීම්, පුපුරායෑම් ආදි අවස්ථා මෙන්ම පුද්ගල ශරීර කොටස් සහ පුද්ගල අනුරුව නිර්මාණය කිරීම විශේෂ දෘශ්‍ය ප්‍රයෝග අංග රචනයට අයත්ය. විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග අංග රචනය ආකාර දෙකකි. එනම් චලන ප්‍රයෝග සහ අචල ප්‍රයෝග ලෙසයි. චලන ප්‍රයෝග යනු දියවීම්, වැගැරීම්, පුපුරායෑම් හා වර්ධනය වීම් වැනි අවස්ථා දක්වීම වන අතර අචල ප්‍රයෝග යනු නිශ්චල වෙනස්වීමක් නොමැති ප්‍රයෝග යොදා ගැනීමයි.

විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග අංගරචන ශිල්පියා යනු සාමාන්‍ය තුවාලයේ හෝ පිළිස්සුමේ සිට පුපුරා යෑම දක්වාත් විශේෂ චරිත මෙන්ම විකාර රූපි චරිත ස්වභාවය දක්වාත් අංග රචන විශේෂ ප්‍රයෝග තාක්ෂණ භාවිතයේ ශිල්ප ආදේශ කිරීමේ නිපුණතාවක් ඇති අයෙක් සේම නළුවාගේ නිළියගේ සෞඛ්‍ය මෙන්ම ජීවිතය පිළිබඳ වගකීමක් දරන පුද්ගලයායි. මෙම නිර්වචනය දෙස බලන විට පෙනීයන්නේ නිර්මාණයක විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග අංගරචන ශිල්පියෙකු සතුවන වගකීම් ස්වභාවය හා කාර්යයභාරයයි. 
විශේෂ දෘශ්‍ය ප්‍රයෝග අංග රචනයේ සුවිශේෂි අවස්ථාවකි බද්ධ අංගරචනය (Prosthetic) ශරීරය මත සිදුකරන යම්කිසි ගොඩනැගීමක් බද්ධ අංග රචනය ලෙස හැදින්වේ. අංගරචනය තුළින් සිදුකළ නොහැකි ශරීරයේ වෙනස්කම් සිදුකිරීමට බද්ධ අංගරචනය යොදාගනි. පුද්ගල ශරීරයක සීරීමක් තුවාලයක් නිර්මාණය කිරීමේ සිට ශරීර අවයව නිර්මාණය කිරීම දක්වා බද්ධ අංගරචනය දියුණුව පවති. බද්ධ අංග රචනයේ පියවර  
Sculpture
Mold
Run Mold
Application
Painting

බද්ධ අංග රචනයේදී සියලු කෘතීම නිර්මාණයන් සකස් කර ගන්නේ රබර්කිරි (Latex)  සිලිකන් (Silicone) ජෙලටින් (Gelatine) යනාදී අමුද්‍රව්‍ය යොදාගනිමිනි. Latex පැරණිම අමුද්‍රව්‍ය වන අතර වර්තමානයේ ලෝක සිනමාව තුළ වැඩි වශයෙන් භාවිතයට නොගනී. වර්තමානයේ වඩාත් ප්‍රසිද්ධික් උසුලන අමුද්‍රව්‍ය වන්නේ සිලිකන්ය. විශේෂයෙන්ම සිලිකන් සැහැල්ලු බවින් යුතු නිසා මුහුණේ ලක්ෂණ, කැළැල් ආදිය කුඩා අංග නිර්මාණයට මුහුණ වැනි සියුම්ව නිර්මාණය කළ යුතු ස්ථානවල බද්ධ අංග රචනයට යෝග්‍ය වේ. ලංකාව තුළ සිලිකන් වැනි අමුද්‍රව්‍යයක් යොදාගැනීමට පවතින නොහැකි බව හේතුවෙන් යොදාගනු ලබන්නේ ලේටෙක්ස් හෝ ජෙලටින්ය.  විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග අංගරචනය වැඩි වශයෙන් භාවිතා වන්නේ හොලිවුඩ් හා බොලිවුඩ් සිනමාව තුළයි.






Sky aesthetic | Mobile Click