ප්‍රොස්තෙටික් කලාව් පුරෝගාමියා ලෙස සැලකෙන්නේ Dick Smith අංග රචන ශිල්පයයි. මුල් කාලයේ දී ස්වභාවික ද්‍රව්‍ය උපයෝගි කරගනිමින් ඔහු මෙම කලාව සිදුකර තිබේ. ලෝක සිනමාවේ ප්‍රොස්තෙටික් කලාවේ ආරම්භය ලෙස සැලකෙන්නේTrip to Moon (1902) සිනමාපටයේ හඳ සඳහා පුද්ගල මුහුණක් විකෘති කිරීම තුළිනි. නමුත් මෙය ප්‍රොස්තෙටික් කලාවම නොව පුද්ගලයෙකුගේ මුණට හඳ සම්බන්ධ කරමින් රූප මිශ්‍ර කරමින් සකස්කර තිබේ. එයින් ඇරඹි විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග අංගරචනය වර්තමානය වන විට ලෝක සිනමාවේවිශිෂ්ට වූ චරිත නිර්මාණය කොට තිබේ.
The Exorcist (1973)
William Friedkin විසින් අධ්‍යක්ෂණය කළ The Exorcist (1973) සිනමාපටය විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග අංගරචනය ඉතා හොඳින් යොදා ගැනුනු සිනමාපටයකි. ඩික් ස්මිත් (Dick Smith) නම් විශේෂ දෘශ්‍ය ප්‍රයෝග අංග රචන ශිල්පියා විසින් අංග රචනය සිදුකල The Exorcist සිනමාපටයේ රේගන් චරිතය සහ මෙරින් පියතුමාගේ චරිතය සඳහා විශේෂ දෘශ්‍ය ප්‍රයෝග අංග රචන ක්‍රමවේද ගණනාවක් යොදාගෙන තිබේ. යක්ෂාවේෂයෙන් සිටිනා දරුවෙකු මෙහි ප්‍රධාන චරිතය වන අතර ක්‍රමක්‍රමයෙන් ඇගේ ශරීරය වෙනස්කම් වලට භාජනය වීම චිත්‍රපටය පුරාම නිරූපිතයි. මෙම අවස්ථා නිරූපණයට අංග රචනයට එහා ගිය විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග අංගරචනයක් යොදාගැනීමට සිදුව ඇත. චලන ප්‍රයෝග මෙන්ම අචල ප්‍රයෝග ද දෘෂ්‍ය ප්‍රයෝග ලෙස යොදාගෙන ඇත.
රේගන්ගේ මුහුණේ ස්වරූපය ක්‍රමක්‍රමයෙන් වෙනස්වීමට භාජනය වීම චලන ප්‍රයෝගකි. මෙහි ලස්සන ළමයෙකු බිහිසුණු විකෘති අයෙක් බවට පත් කිරීමට ඩික් ස්මිත් නම් අංග රචන ශිල්පියාට හැකි ව තිබේ. ලේටෙක්ස් සහ සිලිකන් යොදා ගනිමින් මුහුණේ විරූපි ස්වරූපය ලබාදෙන බද්ධ අංග රචනය සිදුකර තිබේ. එක්තරා දර්ශනයක රේගන් මැක්ස් පියතුමා වෙත වමනය කරන අවස්ථාවක් නිරූපණය කිරීමට ඇය පැළඳ සිටින මාස්ක් එක තුළ වමනය සහිත බෑගයක් රඳවා තිබේ. රේගන්ගේ ශරීරයේ දිස්වන "Help me" යන වචනය නිර්මාණය කර ඇත්තේ ඇගේ සම මතට ඇදගන්නා ද්‍රාවනයක් මගිනි. රේගන්ගේ හිස පිටුපසට කැරකෙන දර්ශනය සඳහා චරිතයේ අනු රුවක් (SFX Dummy) නිර්මාණය කිරීමක්ද මෙම සිනමාපටයේ සුවිශේෂි අවස්ථාවකි. ඛ්එැං යොදාගෙන නිර්මාණය කොට වර්ණ ගන්වා රේගන්ගේ චරිතයට පණ පොවන ලින්ඩා බ්ලේයාර්ගේ අනුරුව නිර්මාණය කොට ඇත.
එසේම මෙරින් පියතුමාගේ චරිතය නිරූපණය කරන මැක්ස් වොන් සීඩෝ වයසක කෙනෙකු බවට පත් කිරීමේ කාර්යය ද විශේෂ දෘශ්‍ය ප්‍රයෝග අංග රචනය තුළින් සිදුව තිබේ. වයස අවු 44 ක නළුවෙකු 74 හැවිරිදි පූජකවරයෙකු කිරිම සඳහා උචිත වේශ නිරූපණයක් හා දෘෂ්‍ය ප්‍රයෝග භාවිතා කිරිමට ඩික් ස්මිත් සමත්ව තිබේ.
The Little Big Man (1970)
The Little Big Man (1970) සිනමාපටයේ ද ඩික් ස්මිත් විසින් ඩස්ටින් හොෆ්මන්ගේ චරිතය සඳහා රගපෑ ජැක් ක්‍රාබ් සඳහා ද සිනමාපටය පුරාම සුවිශේෂි අංගරචනයක් සිදුකර තිබේ. 31 හැවිරිදි ජැක් ක්‍රාබ් 121 වියැති තැනැත්තෙකු බවට පත් කිරීම සඳහා විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග අංග රචනය යොදාගෙන ඇත. අච්චුවකින් නිර්මාණය කරන ලද තනි වෙස් මුහුණක් පැළඳ ඇති අතර නිකට, කම්මුල්, අහිබැම, හකු ආදිය සඳහා වෙන් වෙන්වූ බද්ධ අංගරචනයන් යොදාගෙන තිබේ. සැලසුම් කිරීමට හා යෙදවීමට වැඩි කාලයක් ගත වුවද මුහුණේ අවයව කොටස් වෙන් වෙන් වශයෙන් සකස් කරගැනීම චරිතය සාර්ථකව ඉදිරිපත් කිරීමට පිටුවහලක් වූ බව කියැවේ. බද්ධ අංගරචනය සිදුකර ඇත්තේ ලේටෙක්ස් යොදාගනිමිනි. හිස සහ අත් නිර්මාණයට සති 6ක පමණ කාලයක් ගතව ඇති බව පැවසේ. සම්පූර්ණ වේශ නිරූපණය සඳහා පැය පහක පමණ කාලයක් ගතව ඇත. මෙය අචල දෘශ්‍ය ප්‍රයෝග යොදා ගැනීමකි. බද්ධ අංග රචනය සිදුකරමින් චරිතාංග රූප ස්වභාවයක් නිර්මාණය කිරීම තුළ සාර්ථකත්වයක් දක්නට ලැබේ.
The Fly (1986)
David Cronenberg විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ The Fly -1986 සිනමාපටය විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් සිනමා නිර්මාණයකි. මොහුගේ අනෙකුත් සිනමාපටවල මෙන්ම මෙම සිනමාපටය තුළ ද සුවිශේෂිත්වය වන්නේ විශේෂ දෘශ්‍ය ප්‍රයෝග අංග රචනය බහුලව යොදාගැනීමයි. අංග රචන ශිල්පි Chris Walas විසින් විශේෂ දෘශ්‍ය ප්‍රයෝග අංග රචනය සිදුකර තිබේ. සිනමාපටයේ වේශ නිරූපණය සඳහා Academy Awards හිමි විය. මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතය වන Jeff Goldblum රංගනයෙන් දායක වන Seth Brundle චරිතය දෙමුහුන් සත්ත්වයෙකු බවට පත්වන ආකාරය බද්ධ අංගරචනය ඔස්සේ නිර්මාණය කරයි. එම අංග රචනය සඳහා ඛ්එැං ප්‍රධාන අමුද්‍රව්‍ය වශයෙන් යොදාගෙන තිබේ. මාස තුනක පමණ කාලයක් විවිධ පෙනුම පරීක්ෂා කරමින් වේශ නිරූපණය පිළිබඳ අත්හදාබැලීම් වලින් පසුව මෙම නිර්මාණය සිදුකර ඇත. වේශ නිරූපණය සඳහා පැය 6කට වඩාගත වූ බව කියවේ.
Chris Walas විසින් අදියර 7ක් යටතේ පියවරෙන් පියවරSeth Brundle චරිතය ගොඩනගන ලදි. සියුම් ලෙස ආරම්භ වී ක්‍රමයෙන් විකාර සහගත වන Brundle චරිතයේ පළමු අදියරේදී ආසත්මිකතාවක් වැනි සමේ ස්වරූපයක් සහ සම මතුපිට රෝම ඇතිවීම වැනි කුඩා දෘශ්‍ය ප්‍රයෝග අංග රචනයක් යොදාගනී. ක්‍රමක්‍රමයෙන් නිය, කණ්, හිසකෙස් වැටි විරූපි පෙනුමක් එක්කරයි. අවසන් අදියර වලදී මිනිස් ස්වරූපය නැති වී ගොස් දෙමුහුන් සත්ත්වයා ඉස්මතු වේ. අවසන් සත්ත්වයා සඳහා Latex යොදාගෙන අනුරුවක් (SFX dummy) නිර්මාණය කර තිබේ. මුහුණේ තුවාල, පැහැය, කුඩා මැස්සන් ආදිය මෙන්ම අත්, පාද, උරහිස යනාදියද බද්ධ අංගරචනය තුළින් සකස්කර තිබේ. කෘතිම දත් සහ හිසකෙස් භාවිතා කොට ඇත. මේ ආකාරයට සාර්ථක නිර්මාණයක් බිහි කිරීමට අංග රචනය සහ විශේෂ දෘශ්‍ය ප්‍රයෝග අංග රචනය වැදගත් විය.






















