Sunday, 13 September 2020

ලිංගිකත්වය සහ සිංහල සිනමාව -පළමු කොටස-

1) මර්දනීය ලිංගික ආඛ්‍යානය ( 1947 සිට )

සිංහල චිත්‍රපටයේ විකාශනය 1947 වසරේ දී තිරගත වූ “කඩවුනු පොරොන්දුව” සිනමාපටය සමඟින් ඇරඔුන ද සිංහල සිනමාවේ ඉතිහාසය 1947 ට ද එහා දිවයන්නකි. ඒ කඩවුනු පොරොන්දුව තිරගත වීමට පෙර නිහඬ චිත්‍රපට ත්‍රිත්වයක් නිර්මාණය වූ බැවිනි. 1925 නිර්මාණය වූ රාජකීය වික්‍රමය, කපටියා චිත්‍රපට පළමු නිහඬ චිත්‍රපටයි. නමුත් ඒවා ලත් තැනම විනාශ වූයේ සිංහල සිනමාව 1947 වර්ෂයට සීමා කරමිනි. එතැනින් ඇරඹි සිංහල කතානාද සිනමාව කපටි ආරක්ෂකයා, අශෝකමාලා දක්වා දිවයයි.  සිංහල සිනමා වංශය මෙතෙක් තිරගතව ඇති චිත්‍රපට කාලවකවානු ලෙස ගත්කළ දශක කිහිපයකට බෙදා දැක්විය හැකිය. 50 දශකයේ මුල් භාගයේ සිනමාපටවල දක්නට ලැබුනේ මර්දනීය ලිංගික ආඛ්‍යානයයි. 50 දශකයේ ආරම්භයේ “ගම්බද සුන්දරි” (1951), “සැඟවුනු පිළිතුර” (1951) වැනි චිත්‍රපට බිහි වූ අතර සිරිසේන විමලවීරගේ “පිටිසර කෙල්ල” 1953 දී තිරගත විය. එම කාලවකවානුවේදීම බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ “කැළෑ හඳ” චිත්‍රපටය තිරයට පැමිණියේ රුක්මණි දේවිගේ රඟපෑම් සමගිනි. 

කඩවුනු පොරොන්දුවෙන් ආරම්භව 1953 සුජාතා චිත්‍රපටය දක්වාම මේ මර්දනීය ලිංගික ආඛ්‍යානය දක්නට ලැබුණි. එකල ලාංකික සිනමාකරුවන් මිනිස් ශරීරයේ හා චර්යාවන්හි සංස්කෘතික සාධක නිර්ධය ලෙස මර්දනය කළහ. කුහක වික්ටෝරියානු සදාචාරයෙන් පැමිණි ලිංගිකත්වය වසන් කිරීමේ සංකල්පය සමඟ එකඟ වූ සිනමාකරුවන් තම සිනමාපටය තුළ ලිංගිකත්වය, කලාව තුළ ඉදිරිපත් කිරීමේදී පරෙස්සමින් කල යුතු බැව් සිතන්නට ඇති බව 50 දශකයේ චිත්‍රපට දෙස බලන කළ පසක් වන කාරණාවකි. මිනිස් ශරීරය ලිංගිකත්වය පාපී කාරණා හැටියට සහ ඒවා ප්‍රසිද්ධ රැඟුම් වශයෙන් ඉදිරිපත් කිරීම පාප කර්ම ලෙසත් කිතු දහම මිනිස් සමාජයට ඒත්තු ගන්වා තිබිම හේතුවෙන් ඒ අනුව යමින් සිනමාකරුවන් තම නිර්මාණ බිහි කරන ලදි. සමාජයේ වටිනාකමක් දිනා ගැනීමට ලිංගික ජීවිතය වසන් කිරීම තුළින් පමණක් බව එකල අධ්‍යක්ෂයරුන් සිත් සිටින්නට ඇත්තේ එය ලංකාවේ සමාජතලය තුළ මුල් බැසගත් කාරණාවක් වූ නිසාවෙනි. 

බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට තුළ දක්නට ලැබුණේ මිනිසාගේ ලිංගික ජිවිතය මර්දනය කිර’මකි. ඒ හේතුවෙන් කැළෑ හඳ වැනි රුක්මණි දේවි රඟපෑමෙන් මුසුව බිහිවූ නිර්මාණ කෙරෙහි සමාජමය අගයක් වටිනාකමක් හිමිවිය. මුල් යුගයේ ලාජකේය සිනමාකරුවා යනු ශිෂ්ට සමාජයක් බිහි කිරීමට අනුබල දෙන ගමන් ප්‍රේක්ෂක වින්දනය ද ලබා දෙන ශික්ෂාකාමි කලාකරුවෙකු විය. 1950 වර්ෂයේ තිරගත වූ ගම්බද සුන්දරී, සිරිසේන විමලවීරගේ පිටිසර කෙල්ල (1953), බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ කැළෑ හඳ, ශාන්ති කුමාර්ගේ අශෝකමාලා, කපටි ආරක්ෂකයා ආදි සිනමාපට උක්ත සඳහන් කළ මර්දනීය ලිංගික ආඛ්‍යානය මත පදනම්ව බිහි වූ නිර්මාණයි. 

අධ්‍යක්ෂ භූමිකාව තුළ සංස්කෘතික, දේශපාලනයක් තිබූ බව මෙම චිත්‍රපට දෙස බලන කළ පෙනි යයි. 50 දශකයේ මුල් භාගයේ සිනමාවේ ස්ත්‍රිය විනීත ශික්ෂාකාමි කුල කාන්තාවයි. බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, ශාන්ති කුමාර්, සිරිසේන විමලවීර ආදි මුල් යුගයේ සිනමාකරුවන් චිත්‍රපට මඟින් ලාංකික කාන්තාව ලෙස ගෙන හැර දැක්වූයේ එයයි. එය ඔවුන් විසින් ලාංකික සමාජයේ ගොඩනැගූ යථාර්ථයයි. එසේ කිරීමට ඔවුන්ට හැකි වූයේ චිත්‍රපට අධ්‍යක්ෂණය තුළින් ඔවුන් සමාජයේ පිළිගැනීමට ලක්ව තිබීම නිසාම නොවේි. අධ්‍යක්ෂවරයාට අවශ්‍ය ආකාරයට ස්ත්‍රීය මෙහෙයවන්නට වන්නේ එය යථාර්ථය බවට ඒත්තු ගන්වමිනි. සිනමාපට තුළ පුරුෂ බල පරාක්‍රමය පෙන්වමින් අධ්‍යක්ෂකවරුන් ස්ත්‍රීය තමාට රිසි පරිදි මෙහෙයවන්නට වූහ. ඇය ලිංගික ආශාවන් නැති අලිංගික ශරීරයක් බවට පත් කිරීමට අධ්‍යක්ෂකවරුන්ට සිදුවූයේ වික්ටෝරියානු සදාචාරය මඟින් ඇති කරන ලද සමාජ සදාචාරය විය හැක.

1925 නිෂ්පාදය කළ ශ්‍රි ලාංකේය ප්‍රථම නිහඬ චිත්‍රපටය වූ රාජකීය වික්‍රමය චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස තෝරාගෙන තිබුනේ ද සිංහල කාන්තාවක් නොව බර්ගර් නිළියක වන සිබිල් ෆීම් බව ආතර් යූ. අමරසේන ලියූ “සිංහල සිනමා වංශය” සඳහන් වේ. සිනමාවේ මුල් කාලයේ නිරුවත, ලිංගිකත්වය නිරූපනය නොව නිළියක වීමද අශිෂ්ට අසංවර ක්‍රියාවක් ලෙස සැලකූ බව සිතිය හැකි නොවේද කඩවුනු පොරොන්දුවේ රංජනී චරිතයේ සිට රුක්මණි දේවි රඟපෑ මල්ලිකා (කපටි ආරක්ෂකයා), ස්වර්ණා (වැරදුන කුරුමාණම), සුනීතා (පෙරළෙන ඉරණම), කාන්ති (උමතු විශ්වාසය) යන  චරිත දක්වාම ලාංකික ප්‍රේක්ෂකයන් ලංකාවේ ස්ත්‍රිය නම් මෙසේය යන චිත්‍රයක් මවාගෙන සිටි පවක් සිනමා විචාරක ගාමිණි විජේතුංග මහතා ලිපියක සඳහන් කර තිබේ.( සිනෙසිත් අංක 39/40 ලිපිය) 

බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ චිත්‍රපට තුළ රුක්මණි දේවි යනු කිසිඳූ ලිංගික සතුටක් කොපෙන්වන පිරිමින්ගේ අනේක විධ කරදරවලට ලක්වන්නියක් බව ඔහුගේ චිත්‍රපට දෙස ගැඹුරින් පිරික්සන විට පෙනේ. එය ප්‍රේක්ෂකයාට පිළිගැනීමට සිදුවන්නේ අධ්‍යක්ෂවරයා ප්‍රේක්ෂකයාට වඩා අවබෝධයක් ඇති බවට ප්‍රේක්ෂක සිතේ මුල් බැසගෙන තිබිමත් සහ කුහක වික්ටෝරියානු සදාචාරය මඟින් බාහිර සමාජයේ ස්ත්‍රී ශරීර හා ලිංගිකත්වය පාලනය කිරීමයි. ස්ත්‍රිය අධ්‍යක්ෂවරයාගේ අත් අඩංගුවට පත් වීමක් මෙම යුගයේ සිනමාපටවල දක්නට ලැබුණි. ස්ත්‍රිය දරුවන් වදා ඔවුන් බලා කියාගන්නා සැමියාගේ අවශ්‍යතා ඉටුකරන තම අභ්‍යන්තරික හැඟීම් තෙරපාගෙන සිටින විනීත කුල කාන්තාව එකල සිනමාපටවල නිරූපිත කාන්තාවයි. ඒ අනුව රුක්මණි දේවි සිංහල සිනමාවේ කඳුළු බිංදුව ලෙසත් පසු කලෙක පුණ්‍යා හීන්දෙණිය සිංහල කුල කාන්තාව හැටියටත් ෆ්ලෝරීඩා ජයලත්, ප්‍රමිලා කුරුප්පු, ක්ලැරිස් ද සිල්වා, සන්ධ්‍යා කුමාරි ආදින් නැට්ටිච්චියන් ලෙසත් හංවඩු ගැසීම පිටුපස ඇත්තේ මේ අධ්‍යක්ෂ භූමිකාවයි.

6 comments: